Pages

Wednesday, March 7, 2012

කිදුරු සද (සතියේ නිර්මාණශීලී කෙටිකතාව)

                      කිදුරු සද  (සතියේ නිර්මාණශීලී කෙටිකතාව)


 ඔහු යලිත් වරක් ආපසු නොබැලුවා විය හැකියි.එහෙත් සිය මනස සහ අවුල් වූ ආධ්‍යාත්මය පුරා ගෙන යනු ලබන ළබැදි සිතුවිලි ධාරාව සිරුර පුරාම දුවමින් අතෝරක් නොමැතිවම වැළපෙයි. ප්‍රේමයේ හඩ එහි හැඩරුව යම් විටෙක පුබුදුවා වාතලයට මුදාහරින්නට උත්සුක වන චන්ද්‍ර කාන්තියේ පහස ලැබීමට ඉවසුමක් නොමැති මල් පොහොට්ටු සේය.එහෙත් එහි ඇති කිරණින් ඒ මල් පොහොට්ටු වලට රිදවා සියුමැලි පෙති සැදැ සමයේ පර වී යන්නේ රුදුරු චන්ද්‍රයා නිසාම නොවේ ද යන්න මේ මල් පොහොට්ටු වලට අවබෝධයක් නැත.
              මා පැමිණියේ මේ අතෝරක් නොමැතිව හඩ නගමින් විලාප නගන මහ සාගරය විසින් ප්‍රතික්ෂේප කල වෙරළ තීරයට පැමිනෙණ රළ මාලාවන්ගේ රිද්මයට සවන් දෙන්න ද ? එසේ නොමැති නම් එයින් නැගෙන රිද්මයට සහ මියුරු සංගීතයට ගී ගයන ගායිකාවන්ගේ දෙනෙතින් නැගෙන මුදු සිනහ රැල්ලේ පහස විදීමට දැයි විටෙක නොතේරේ. 
   ඇය කෙතරම් සතුටු වුවත් කෙතරම් වර්ණවත් ලෙස පායා දිලෙමින් දර්ශනය වුනත් එයින් මා ලබන අසීමිත තෘප්තිය කුමක් ද ? නිම්සරට එසේ සිතුණු වාර අනන්තය. එහෙත් තම කාර්යය නිෂ්ඵල එකක් ලෙස සිත තුල නැගෙන්නා වූ සිතුවිලි පරාජය කිරීමට තරම් ප්‍රබල ආත්ම ශක්කියක් ඔහු සතු නොවීය. ජීවිතයේ සතුට වෙනුවෙන් ද එසේ නොමැති නම් එයින් දැනෙනා සුවය වෙනුවෙන්  වුවද මා මේ සමස්ථය කැප කිරීමට සුදානම් ඔහු තමාට ම කියා ගත්තේය. 
උදෑසන ‍ඍම්‍ය ලෙසින් ද දහවල් රකුසු වෙසින් ද පරිසරයට ආදරය කිරීමෙන් ඔහුව වෙහෙසට පත් කර වින්දවයක් ලබන සූර්යයා සවස් යාමයේ විඩාවට පත් වී මලානික පැහැයක් ගනූයේ කනස්සලු සිතින්ය. ඒ දර්ශනයට අප එතරම් ම ඇලුම්කරණවාට ඔහු තරම්  අකමැති වෙනත් කෙනෙක් සිටී ද ?එම නිසාම අපගේ දෙනෙතට දර්ශනය වන සෑම විටම ඔහු මහ සයුරේ ගිලී සැග වී යාමට උත්සහ දරන්නේ අපට ආනන්දයක් මෙන්ම චමත්කාරයක් ගෙන දීමෙන් නොවේ ද. එවන් මොහොතක ඒ අසිරිය විදීමට මා යලි යලිත් නොඉවසිල්ලක් දක්වන්නේ සැබැවින් ඒ නිසාම ද තේරුම් ගත නොහැකියි.
එහෙත් ඒ තුල සැගනුණු තවත් සොදුරු  සොම්නස් නිර්මල හැගීමක් ඇතැයි සිතෙන විට දැනෙන සතුට යලිත් දිනෙක උදෑසන හිරු නැගෙන්නට දරන පිවිතුරු උත්සහයෙන් දැනෙන අව්‍යාජ හිරු කිරණ හා සමාන නොවන්නේ ද, ජීවිතයේ හරය නිෂ්පල වූවකි. එහෙත් ඒ සිතුවිල්ල සැම මොහොතකම මකා දමන්න තරම් මේ ස්භාවධර්මය කාරුණික වී ඇති අයුරු!
සද ඔබගේ දෙනෙත් මනස්කාන්තයි.
ඔබ තව මොහොතකින් මගේ පිය වී දෑසට  ඒක් වරක් පෙනී නොපෙනී යන්න, එසේ වුව හොත් මේ ගෙවී යන හෝරාවෙන් මා තෘප්තිමත් වන්නේ ය. ඔබගේ මනස්කාන්ත දෙනෙත් නොදැක මේ සැදෑ සමයේ මේ වෙරළ අද්දරින් මාගේ දෙනෙත් ඉවතට නොගන්නෙමි. 
තව මොහොතකින් ඔබ මා ඉදිරියේ දිස්වේවි එවිට මාගේ සියළුම හැගීම් ඔබට පවසන්නෙමි. එවිට ඔබ මා දෙස වරක් බලා අකීකරු සැඩ පහරක් සමග සැගව යන්න. එසේ වුවත් මම ඒ සැඩ පහරට වෛර නොකරමි. ඒ මගේ දෙව්දුව මට ලබාදුන් සහෘදත්වයට කෘතගුණ දැක්වීමටයි.
නිම්සර යලිත් පිය වි ලෝකයෙන් මදක් ඈත් වී සසල ලෙස නිසලව හිදිනා සයුර දෙස බලා දිගු නිහැඩියාවක් හා සුසුමක් හෙලුවේය.
ඒ මොහොතේම ඔහු අසලට දිගු රළ පහරක් විත් දෙපා තෙමී යලිත් සාගරය දෙසට ඇදී ගියේ ය.
කෝ මගේ පෙම්බරාවිය ? ඔබ පැමිණියේ ද එසේ නොමැති නම් නොපැමිණියේ ද? ඔබ එන්න ඇවිත් යන්න.
නිම්සර ඇයි ඔබ නිහඩ?....
නැහැ මම නිහඩ නැහැ ... මම මගේ ආදරවන්තිය නොදැකිමි. එහෙත් ආදරවන්තිය ?  ඔව් ඇය මට ආදරය කරනවා. ඒ කිසිවක් මේ මහා සාගරයට අමුත්තක් නොවේ. ඇය ඔබේ දියනියයි.එහෙයින් ඔබ ඇය මා වෙතට කැදවන්න. එවිට මාගේ හැගීම් සියල්ල ඇයට පවසනවා ? එසේ නොමැතිව  ඔබ මා හට රිදවා පලා යනවාද!...........
ඔබ එතරම්ම අකාරුණික නොවන බැව් විශ්වාසයි. ඔබගේ දළරළ සැඩ සයුරෙන් මා වට නොකරන්න.මා ඔබේ දියනියට හදවතින්ම ආදරෙයි.ඇයත් මා හට එසේමයි.ඉතින් අපි එකතුවෙනවා ට ඔබ අකමැති ද? ඔබගේ සළුව වටා අපි වැතිර සිටින්නෙමු.ඔබට නොදැනෙන සේ අපි එයින් ඉවත් වන්නෙමු.
එහෙයින් පියාණෙනි අපට බාධා නොකරන්න.ඔබගේ ආදරණිය දියණියමා ආදරයෙන් රැක බලාගන්නම්.
ඇය ඉල්ලන සෑම දෙයක්ම දීමට මා වෙර දරන්නෙමි.ඔබගේ ආශිර්වාදය ලබාදෙන්න.මා  සතු සියල්ල පසෙක දමා ඔබේ දියනිය සමග ඔබේ උකුලේ ආදරයෙන් සැතපෙන්නෙමි.
අන්න ඔබේ හදවත සොරගෙත් ඒ මනස්කාන්ත රුව ඉදිරියට යන්න, ඇය වැළද ගන්න.යලිත් වරක් නොවැටී සිටින්න.
ඇයි රිදවන්නේ? මා රවටන්නේ?...ඔබගේ චන්ඩ රළ පෙළ පුළිගු සුළංරොදක් පුලුන් ගොඩක් සේ මා ඉදිරියේ දැවටෙන්නේ මන්ද?..
යන්න මට බාධා නොකරන්න.ඔබලා කෙසේ බාධා කලත් මා මගේ පෙබ්බරාවිය  පැමිණෙන තුරු රැයක් නිදි වරා හෝ එක සිතුවිල්ලෙන්ම බලා සිටින්නෙමි.
ඇය මා සොයා තව මොහොතකින් පැමිණේ වී ඇයට මා නොදැක සිටිය නොහැක.ඈත දියඹේ සුසුම් නොහෙලා කිමිදෙමින් මා සොයා එනු ඇත.
ඔබලා යන්න අපගේ රහස් කතා වලට බාධා නොකරන්න.
අන්න ඔබේ ප්‍රේමවන්තිය.
   

No comments:

Post a Comment