Pages

Saturday, August 26, 2023

ඩලස් සාධකය සහ අනුරගේ ප්‍රතිචාරය

 

මේ කාරණය පිළිබදව අදහසක් පළ කරන්නට මා කල්පනා කළේ මීට බොහෝ කලකට පෙරයි.එහෙත් එසේ නොකළේ කිසියම් කාරණයක් හේතුකොට ගෙනයි.එහෙත් මේවන විට ඩලස් ඇතුලු පිරිසක් මාලිමාවේ නියෝජිතයින් හෝ අනුර සහෝදරයා මුණ ගැසුණු කතාවක් පැතිර යන හෙයින් ලියන්නෙකු වු මා මේ පිළිබදව මගේ අදහස් ලියන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.

                       ඩලස් කවුද? ඔහුගේ දේශපාලන භාවිතය මොකද්ද යන්න මා  විශේෂ දෙයක් කියන්නේ නැත.ඔහු ප්‍රගතිශීලී දේශපාලන භාවිතයක් ඇති පුද්ගලයෙකු ලෙස භාවිතයෙන් ඔප්පු කර ඇති අයෙකි.

අවසන් වරට ඔහු පොහොට්ටුව ලකුණෙන්  පාර්ලිමේන්තුවට පැමිණියේය.දැන් පොහොට්ටුව දියවී අවසන්ය.එහි විවිධ මත දරණ කොටස් තම තමන්ගේ දේශපාලන භාවිතය මෙන්ම කියවීම අනුව ඊළග ප්‍රතිසංසිද්ධිය අපේක්ෂාවෙන් තැන් තැන සොයමින් සිටී.

ඩලස්ට මොනවා කීවත් සජිත් සමග එකතුවීමට සම්භාවිතාවයෙන්ම පුලුවන්කමක් නැත.නැවත පොහොට්ටුව ප්‍රාණය නොලබන හෙයින් ඒ හා බැදුණු එයට ජීවය සපයන ස්ථානයන් ද  අභාවයට   යෑම සහතිකයි. එහෙයින් ඔහුට මාලිමාව නිශ්චිත නවාතැනක් වනු ඇතැයි සිතමු.

එහෙත් එයට පැමිණිය යුත්තේ  තනිතනිවම හෙයින් එය කෙසේ  සිදුවන්නේද යන්න මා නිශ්චිතව දන්නේ නැත.කෙසේ වුවත් ඩලස් සමග සිටින ප්‍රගතිශීලි චරිත විනාශ කර නොගත් මන්ත්‍රීවරුන්ට මේ මොහොතේ මාලිමාව වැදගත්වන බව මා එකහෙලාම කියන්නෙමි.

            දෙවන කාරණය අනුර සහෝදරයා කියා ඇති පරිදි අපට මේ වෙලාවේ වරද්දා ගන්න කිසිදු අයිතියක් නැත.අනෙක් අතට රාජ්‍ය බලය ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ.ලබා ගත්ත ද එය රැකගැනීම ඊටත් වඩා අපහසු තත්වයකි.විප්ලවය කළ යුතුවන්නේ ඡන්දයකිනි.

වෙනත් මාවත් මේ මොහොතේ ප්‍රයෝගික නොවන්නේ ලෝකය ඒවා පිළි නොගන්නා හෙයිනි.මේ කාරණා දේශපාලන කියවීමක් සහිත වූවන් හොදින් දනී.තවද ඡන්ද පදනම පිළිබද අප තක්සේරු කරන විට මේ මොහොතේ අප වපසරිය පුලුල් කර ගැනීම කර ගත යුතුමයි.

අදානග්‍රහී මතවල සිට පවතින තත්වය මත දේශපාලන තීන්දු තීරණ නොගත යුතුය.එසේ වුවහොත් අප මේ සිටිනා  තැනින් තව දුරටත් ඉදිරියට යා නොහැකි වනු ඇත.බහුතර සිංහල ජනතාව මෙන්ම ප්‍රගතිශීලී සුලු ජාතීන්ද ඒක රාශී කර ගැනිම කළ යුතුය.

විශේෂයෙන්ම දේශප්‍රේමී බලවේග ප්‍රගතිශීලී වාමාංශික බලවේග මෙන්ම ඡන්ද පදනම ශක්තිමත් කර ගත හැකි සෙසු ගාමක බලවේග සියල්ල ද  මාලිමාව ඉදිරියේ පෙල ගැස්විය යුතුය.එසේ නොමැතිව න්‍යයාය මත ක්‍රියා කිරීමට අප නොයා යුතුයි.ජේ.වී.පී.ය අඩියක් පස්සට ගෙන මාලිමාව නිර්මාණය කළා මෙන්ම  එහි සාර්ථකත්වය මත තවත් අඩියක් පස්සට ගෙන ප්‍රගතිශීලී කණ්ඩායම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ මොහොතේ එක් කර ගැනීම කලෝචිතය.

                 විශේෂයෙන්ම මේවන විට මාලිමාව ශක්තිමත් වී ඇත්තේ පෙහොට්ටුවේ ඡන්ද පදනමින්ය.එසේ නොමැති නම් මහින්ද රාජපක්ෂ සතුව තිබූ ජන ප්‍රසාදය යි. මේවන විට වඩා ප්‍රගතිශීලී ජනතාව මාලිමාව වැලදගෙන හමාරයි.එමෙන්ම මධ්‍යස්ථව දෝලනය වන විශාල ඡන්ද පදනමක් ඇත.ඔවුන් එසේ පැමිණෙන්නේ නැත.ඒ සදහා ඔවුන්ට විශේෂ උත්තේජනයක් දිය යුතුය.එයට වඩාත් සුදුසුම සාධකය ඩලස් විය හැකිය.

                    අනෙක් අතට වර්තමානයේ පවතින සංකිර්ණ මෙන්ම උණූසුම් දේශපාලන වාතාවරණය තුළ බැසිල්ගේ උපායන් හෝ වෙන යම් කාරණා මත දහවල් ඇණ කොටා ගන්නා උන් රාත්‍රී යේ දී  එක් වී කුමන්ත්‍රණ කරන්නේය.ලන්සාගේ හැසීරීමෙන්  අපට ඒ බව බොහෝ සෙයින් පැහැදිලි වේ.ඔහු පිරිසක් සමග වෙනම ගමනක් යාමටත් රනිල් සමග නැවත කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ද පෙනී සිටී.මේ තත්වය තුළ පොහොට්ටුවේ රනිල් ප්‍රතික්ෂේප කරන පිරිසක් ද සිටී.මේවා දේශපාලන බොරු වලවල්ය. මේ පිළිබද කිසියම් කියවීමක් තිබිය යුතුය.

           කිසියම්  මොහොතක රනිල් සජිත් එක් වී ලන්සා පිළේ සහයෝගයෙන් ආණ්ඩුවක් පිහිටුවා  ලන්සා පිළ එයට එකතු වුවහොත් ඉතිරි පොහොට්ටුවේ පිරිස විපක්ෂය වනු ඇත.එය ඔවුන්ට නැවත නැගිටීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්ය.එවැනි තත්වයක් තුළ මැතිවරණයකට යාමෙන් වර්තමානයේ මාලිමාවට පවතින ඡන්ද ප්‍රසාදය පලුදු වීමට ඉඩ තිබේ.එහෙයින්ද ඩලස් සාධකය මේ මෙහොතේ වැදගත් වනු ඇත.

                        තවත් පැත්තකින් ඉදිරියේ දී පැමිණෙන කවර මැතිවරණයක දී වුව ද පොහොට්ටුවෙන් කැඩෙන සියලු ඡන්ද මෙන්ම මධ්‍යස්ථ ප්‍රගතිශීලීන් සහ සියලු වාමාංශීක කොටස්වල ප්‍රසාදය මාලිමාව දිනා ගත යුතුය.සුලු ජාතික ජාතිවාදී  කොටස් අපට කිසිසේත්ම විශ්වාස කළ නොහැක.

මේ කාරණා මත මේ මොහොතේ මාලිමාව ගන්නා  තීරණාත්මක තීන්දු තීරණ ඔවුන්ගේ හෙට දවසේ දේශපාලන ගමන් මගේ  ජයග්‍රණ තීරණය කරනු ඇත. එමෙන්ම ඒ සෑම තීරණයකම ඊළග පාලන බලය ගොඩ නැගීම සදහා වූ මාවත වෙත ගමන් කරන තීන්දු තීරණම විය යුතුමය.

වෙදහූටියා

No comments:

Post a Comment